Monday, May 1, 2017





ඈත අතීතයේ පටන් අදහස් හුවමාරු කරගැනීම සඳහා මිනිසා විසින් උපයෝගී කරගනු ලැබූ විවිධාකාරයේ මාධ්‍යයන් අතරින් නවීන තාක්‍ෂණයේ සංවර්ධනයත් සමඟ ඇතිවූ ක‍්‍රමවත් සංවිධානාත්මක සහ ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පුවත්පත හඳුන්වා දිය හැකිය. මහජනතාවගේ තොරතුරු අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ඉතා ලාභදායී සහ පහසුවූත් මාධ්‍යය මෙය වීම හේතුකොටගෙන එය මිනිස් ජිවිතය හා වඩාත් තදින් සම්බන්ධ වූ බව පෙනේ. බුද්ධිමත් ප‍්‍රජාවගේ සුරතට හසුවූ පුවත්පත් කලාව හා සමාජීය අවශ්‍යතා ඉටුකිරීමේ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස වර්ධනය විය. මහජන ප‍්‍රශ්නවලදී පුවත්පත සම්බන්ධවන ස්වභාවය අනුව සමහරවිට එය යම් පිරිසකගේ අප‍්‍රසාදයට පත් වූවත්, තවත් සමහරෙක් එහි ක‍්‍රියා කලාපයට කැමැත්තක් දැක්වීය. ඒ කෙසේ වෙතත් වැඩි කලක් යාමට මත්තෙන් පුවත්පත සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වන්නට විය.
සමාජයට අවශ්‍ය කරන එදිනෙදා සිදුවීම් සහ බාහිර ලෝකයේ දැනුම පමණක් නොව සමාජ තොරතුරු ලබාදීමේදී පුවත්පත ඈත අතීතයේ සිටම ඉතා වැදගත් මෙහෙයක් ඉටු කර තිබෙයි. මුල් කාලයේදී මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදීමේදී පුවත්පත විධිමත් ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය නොකළත්, පුවත්පත් කලාවේ දියුණුවත් සමග එම තත්ත්වය වෙනස්වී වඩාත් ඵලදායී සහ අර්ථවත් ස්වරූපයක් ගන්නා ලදී. මේ නිසා පුවත්පතේ එන තොරතුරු සත්‍ය වූත්, සංවිධානාත්මක වූත්, ලිඛිත වූත් තොරතුරු වීම හේතුවෙන් සමකාලීන සමාජයේ තොරතුරු දැනගැනීමට රුචිකත්වයක් දක්වන පාඨකයා පුවත්පත කෙරෙහි වඩාත් තදින් බැඳෙන්නට වූහ.
කවර අරමුණකින් යුක්ත කවර ස්වභාවයේ පුවත්පතක වුවත් මූලික අරමුණ වන්නේ තම පුවත්පත හැකිතාක් පාඨක ජනතාවක් අතට පත්කිරීමයි. ඒ සඳහා පුවත්පත්කරුවා සිය ඥානය සහ දැනුම මෙහෙයවා පුවත්පතේ සෑම අංශයක්ම විචිත‍්‍ර වූත්, ආකර්ෂණීය වූත් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. පාඨකයාගේ සිත ඇදී යන ආකාරයට විශේෂාංග, ප‍්‍රවෘත්ති මෙන්ම ජායාරූප ආදිය සමාජයේ දක්නට ලැබෙන සෑම පුවත්පතක්ම අමුද්‍රව්‍ය  කරගනියි. පුවත්පත්කරුවා අතින් සම්පාදනය වන පුවත්පත මුද්‍රිත ලේඛනයකට වඩා සිත්ඇදගන්නාසුලූ ලේඛනයක් විය යුතුය. පාඨකයා හොඳ පුවත්පතක් තෝරා බේරාගෙන ඉතා  ඕනෑකමින් කියවන්නේ, මිලදීගෙන කියැවීමට තරම් වටිනා දෙයක් ඒ තුළ අන්තර්ගත වුවහොත් පමණි.
”ප‍්‍රවෘත්ති පත‍්‍රය වූ කලී අප සමාජයේ ආර්ථික, සාමාජික සංස්ථාවකි. එය ලොව පුරා ජනයා හැඩගස්වන ප‍්‍රධාන බලවේගයක් වන අතර, ආර්ථික ප‍්‍රගතිය සහ විශ්ව අවබෝධය සඳහා දරන ජාතික හා අන්තර්ජාතික ප‍්‍රයත්නය කෙරෙහි මහත් සේ බලපායි”.
ප‍්‍රවෘත්ති පත‍්‍රයක යථාර්ථය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ජෝන් බිට්නර් සඳහන් කරන්නේ එහි ඇතුළත්වන බාහිර ලෝකයේ කිසිවකුගේ අවධානය දිනා නොගත් ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් සමාජයේ සැඟවී සිටින පිරිස් ඉස්මතුව එන බවත්, බලයේ සිටින පුද්ගලයන්ගේ බලවත්කම්වලට පහර එල්ල කරන බවත් දක්වයි. එදිනෙදා සිදුවන තොරතුරු මහජනතාව වෙත මුද්‍රිත මාධ්‍යයෙන් ලබාදීමේ අරමුණින් නිර්මාණය කළ පුවත්පත පසුකාලීනව මහා ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන ආකාරයක් දැකගත හැකිය. පුවත්පත් කලාව පිළිබඳව විශිෂ්ට ගණයේ ඉතිහාසඥයකු වන එඞ්වින් එමරි (ෑාඅසබ පැරහ* පුවත්පත් යන්න පිළිබඳව මෙසේ නිර්වචනය කරයි.
·         පුවත්පතක් සතිපතා හෝ දිනපතා පළවිය යුතුය.
·         ඒ සඳහා යාන්ත‍්‍රික මුද්‍රණ ක‍්‍රම උපයෝගී කරගත යුතුය.
·         සමාජයේ එක් කොටසකට පමණක් සීමා නොවී මුදල් ගෙවිය හැකි   ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගත හැකි විය යුතුය.
·         කිසියම් සුවිශේෂී සංගමයකට හෝ පුද්ගලයකුට එම පුවත්පත ලබා ගැනීමට හෝ කියවීමට සීමා නොවිය යුතු අතර සාමාන්‍ය සාක්‍ෂරතාවක් සහිත පුද්ගලයින් හටද කියවීමට හැකි විය යුතුය.
·         ආගමික හෝ ව්‍යාපාරික වැනි විශේෂිත අංශවලට වඩා සමාජයේ සෑමදෙනාටම වැදගත්වන ආකාරයේ සෑම තොරතුරක්ම ඒ තුළ ඇතුළත් විය යුතුය.
·         එය කාලීන විය යුතුය.
·         විවේක කාලය තුළදී ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි විය යුතුය.
එපමණක් නොව පුවත්පතේ අඩංගු වියයුතු කරුණු පිළිබඳවත් ඔහු සිය අදහස් දක්වා ඇත. ඒ අතර, අන්තර්ගතය විවිධාකාර වීම, සියල්ලන්ටම පොදුවේ  උනන්දුවක් ඇතිවන ආකාරයේ තොරතුරු ඇතුළත් කිරීම, නියමිත කාලයට පළකිරීම සහ අඛණ්ඩතාවක් පැවැතීම අනිවාර්ය බව ඔහු දක්වයි.
පවත්නා සමාජ කෙරෙහි සුවිශේෂී බලපෑමක් කිරීමේ හැකියාවක් ජනසන්නිවේදන මාධ්‍යයන්ට පවතී. ඒ අතරින් පුවත්පතට හිමිවන්නේ අතිවිශේෂ ස්ථානයකි. ජනමාධ්‍ය සහ ජාතික සංවර්ධනය නමැති කෘතියේ ජනසන්නිවේදන මාධ්‍යයන්ගේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් විල්බර් ශ‍්‍රාම් ප‍්‍රකාශ කරන්නේ බුද්ධිමත් ලෙස සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පුවත්පත් භාවිත කරන්නේ නම් එයින් ආර්ථික, සමාජ, දේශපාලන කාරණා ඉටුකරගත හැකි බවයි.
සංවර්ධනය වන රටවල පුවත්පත් දේශපාලන නායකත්වය ගොඩනැගීමෙහිලා ඉවහල් වන බැවින් සංවර්ධනය වන රටවල්වල පුවත්පත් වඩාත් බලවත් වෙයි. දේශපාලන රැුස්වීම්වලදී මහජන නායකයින් විසින් සිදුකරන ප‍්‍රකාශයන් මෙන්ම ප‍්‍රතිවාදීන්ට ලබාදෙන පිළිතුරු පවා ඉතා වේගයෙන් ප‍්‍රචාරය කිරීමට පුවත්පතට හැකියාව ලැබීම ඊට හේතුවයි. ගුවන් විදුලියේදී එය සීමාසහිතය. පුවත්පතට එවැනි බාධා නොමැති අතර අවශ්‍ය තරම් විස්තර ඉදිරිපත් කිරීමටත්, පාඨකයන්ට ඒවා කියැවීමටත් ඉඩකඩ ලැබේ. 89% පමණ ප‍්‍රමාණයකට කියැවීමට හැකිවීම සහ ජාතික පුවත්පත් ජනතාව අතර ඉතා බහුල ලෙස පරිහරණය වීම හේතු කොටගෙන පුවත්පත් ඉතා ප‍්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබේ.
ජනතාව අතර වැඩි වශයෙන් පරිහරණය කරන ජනමාධ්‍යය වන්නේ පුවත්පතයි. එය මිලදී ගැනීමට සියල්ලන්ටම හැකියාවක් නොවූවත් බොහෝදෙනා පුවත්පත කියැවීම පුරුද්දක් කරගෙන සිටිති. එපමණටම එය ජනතාවගේ හදවතට කාවැදී ඇත. පුවත්පත් මිලදී නොගන්නා පුද්ගලයන් කාර්යාලයේදී, පුස්තකාලයකදී හෝ වෙනත් අසල්වැසි නිවසකින් පුවත්පත කියැවීම සිදුකරයි. පුවත්පත ප‍්‍රබල ජනමාධ්‍යයක් බව ප‍්‍රකාශ කරන්නේ එබැවිනි.


සහකාර කථිකාචාර්ය අමිල නුවන් මධුසංඛ

ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය