Monday, May 1, 2017





ඈත අතීතයේ පටන් අදහස් හුවමාරු කරගැනීම සඳහා මිනිසා විසින් උපයෝගී කරගනු ලැබූ විවිධාකාරයේ මාධ්‍යයන් අතරින් නවීන තාක්‍ෂණයේ සංවර්ධනයත් සමඟ ඇතිවූ ක‍්‍රමවත් සංවිධානාත්මක සහ ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පුවත්පත හඳුන්වා දිය හැකිය. මහජනතාවගේ තොරතුරු අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ඉතා ලාභදායී සහ පහසුවූත් මාධ්‍යය මෙය වීම හේතුකොටගෙන එය මිනිස් ජිවිතය හා වඩාත් තදින් සම්බන්ධ වූ බව පෙනේ. බුද්ධිමත් ප‍්‍රජාවගේ සුරතට හසුවූ පුවත්පත් කලාව හා සමාජීය අවශ්‍යතා ඉටුකිරීමේ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස වර්ධනය විය. මහජන ප‍්‍රශ්නවලදී පුවත්පත සම්බන්ධවන ස්වභාවය අනුව සමහරවිට එය යම් පිරිසකගේ අප‍්‍රසාදයට පත් වූවත්, තවත් සමහරෙක් එහි ක‍්‍රියා කලාපයට කැමැත්තක් දැක්වීය. ඒ කෙසේ වෙතත් වැඩි කලක් යාමට මත්තෙන් පුවත්පත සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වන්නට විය.
සමාජයට අවශ්‍ය කරන එදිනෙදා සිදුවීම් සහ බාහිර ලෝකයේ දැනුම පමණක් නොව සමාජ තොරතුරු ලබාදීමේදී පුවත්පත ඈත අතීතයේ සිටම ඉතා වැදගත් මෙහෙයක් ඉටු කර තිබෙයි. මුල් කාලයේදී මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාදීමේදී පුවත්පත විධිමත් ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය නොකළත්, පුවත්පත් කලාවේ දියුණුවත් සමග එම තත්ත්වය වෙනස්වී වඩාත් ඵලදායී සහ අර්ථවත් ස්වරූපයක් ගන්නා ලදී. මේ නිසා පුවත්පතේ එන තොරතුරු සත්‍ය වූත්, සංවිධානාත්මක වූත්, ලිඛිත වූත් තොරතුරු වීම හේතුවෙන් සමකාලීන සමාජයේ තොරතුරු දැනගැනීමට රුචිකත්වයක් දක්වන පාඨකයා පුවත්පත කෙරෙහි වඩාත් තදින් බැඳෙන්නට වූහ.
කවර අරමුණකින් යුක්ත කවර ස්වභාවයේ පුවත්පතක වුවත් මූලික අරමුණ වන්නේ තම පුවත්පත හැකිතාක් පාඨක ජනතාවක් අතට පත්කිරීමයි. ඒ සඳහා පුවත්පත්කරුවා සිය ඥානය සහ දැනුම මෙහෙයවා පුවත්පතේ සෑම අංශයක්ම විචිත‍්‍ර වූත්, ආකර්ෂණීය වූත් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. පාඨකයාගේ සිත ඇදී යන ආකාරයට විශේෂාංග, ප‍්‍රවෘත්ති මෙන්ම ජායාරූප ආදිය සමාජයේ දක්නට ලැබෙන සෑම පුවත්පතක්ම අමුද්‍රව්‍ය  කරගනියි. පුවත්පත්කරුවා අතින් සම්පාදනය වන පුවත්පත මුද්‍රිත ලේඛනයකට වඩා සිත්ඇදගන්නාසුලූ ලේඛනයක් විය යුතුය. පාඨකයා හොඳ පුවත්පතක් තෝරා බේරාගෙන ඉතා  ඕනෑකමින් කියවන්නේ, මිලදීගෙන කියැවීමට තරම් වටිනා දෙයක් ඒ තුළ අන්තර්ගත වුවහොත් පමණි.
”ප‍්‍රවෘත්ති පත‍්‍රය වූ කලී අප සමාජයේ ආර්ථික, සාමාජික සංස්ථාවකි. එය ලොව පුරා ජනයා හැඩගස්වන ප‍්‍රධාන බලවේගයක් වන අතර, ආර්ථික ප‍්‍රගතිය සහ විශ්ව අවබෝධය සඳහා දරන ජාතික හා අන්තර්ජාතික ප‍්‍රයත්නය කෙරෙහි මහත් සේ බලපායි”.
ප‍්‍රවෘත්ති පත‍්‍රයක යථාර්ථය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ජෝන් බිට්නර් සඳහන් කරන්නේ එහි ඇතුළත්වන බාහිර ලෝකයේ කිසිවකුගේ අවධානය දිනා නොගත් ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් සමාජයේ සැඟවී සිටින පිරිස් ඉස්මතුව එන බවත්, බලයේ සිටින පුද්ගලයන්ගේ බලවත්කම්වලට පහර එල්ල කරන බවත් දක්වයි. එදිනෙදා සිදුවන තොරතුරු මහජනතාව වෙත මුද්‍රිත මාධ්‍යයෙන් ලබාදීමේ අරමුණින් නිර්මාණය කළ පුවත්පත පසුකාලීනව මහා ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන ආකාරයක් දැකගත හැකිය. පුවත්පත් කලාව පිළිබඳව විශිෂ්ට ගණයේ ඉතිහාසඥයකු වන එඞ්වින් එමරි (ෑාඅසබ පැරහ* පුවත්පත් යන්න පිළිබඳව මෙසේ නිර්වචනය කරයි.
·         පුවත්පතක් සතිපතා හෝ දිනපතා පළවිය යුතුය.
·         ඒ සඳහා යාන්ත‍්‍රික මුද්‍රණ ක‍්‍රම උපයෝගී කරගත යුතුය.
·         සමාජයේ එක් කොටසකට පමණක් සීමා නොවී මුදල් ගෙවිය හැකි   ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගත හැකි විය යුතුය.
·         කිසියම් සුවිශේෂී සංගමයකට හෝ පුද්ගලයකුට එම පුවත්පත ලබා ගැනීමට හෝ කියවීමට සීමා නොවිය යුතු අතර සාමාන්‍ය සාක්‍ෂරතාවක් සහිත පුද්ගලයින් හටද කියවීමට හැකි විය යුතුය.
·         ආගමික හෝ ව්‍යාපාරික වැනි විශේෂිත අංශවලට වඩා සමාජයේ සෑමදෙනාටම වැදගත්වන ආකාරයේ සෑම තොරතුරක්ම ඒ තුළ ඇතුළත් විය යුතුය.
·         එය කාලීන විය යුතුය.
·         විවේක කාලය තුළදී ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි විය යුතුය.
එපමණක් නොව පුවත්පතේ අඩංගු වියයුතු කරුණු පිළිබඳවත් ඔහු සිය අදහස් දක්වා ඇත. ඒ අතර, අන්තර්ගතය විවිධාකාර වීම, සියල්ලන්ටම පොදුවේ  උනන්දුවක් ඇතිවන ආකාරයේ තොරතුරු ඇතුළත් කිරීම, නියමිත කාලයට පළකිරීම සහ අඛණ්ඩතාවක් පැවැතීම අනිවාර්ය බව ඔහු දක්වයි.
පවත්නා සමාජ කෙරෙහි සුවිශේෂී බලපෑමක් කිරීමේ හැකියාවක් ජනසන්නිවේදන මාධ්‍යයන්ට පවතී. ඒ අතරින් පුවත්පතට හිමිවන්නේ අතිවිශේෂ ස්ථානයකි. ජනමාධ්‍ය සහ ජාතික සංවර්ධනය නමැති කෘතියේ ජනසන්නිවේදන මාධ්‍යයන්ගේ කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් විල්බර් ශ‍්‍රාම් ප‍්‍රකාශ කරන්නේ බුද්ධිමත් ලෙස සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පුවත්පත් භාවිත කරන්නේ නම් එයින් ආර්ථික, සමාජ, දේශපාලන කාරණා ඉටුකරගත හැකි බවයි.
සංවර්ධනය වන රටවල පුවත්පත් දේශපාලන නායකත්වය ගොඩනැගීමෙහිලා ඉවහල් වන බැවින් සංවර්ධනය වන රටවල්වල පුවත්පත් වඩාත් බලවත් වෙයි. දේශපාලන රැුස්වීම්වලදී මහජන නායකයින් විසින් සිදුකරන ප‍්‍රකාශයන් මෙන්ම ප‍්‍රතිවාදීන්ට ලබාදෙන පිළිතුරු පවා ඉතා වේගයෙන් ප‍්‍රචාරය කිරීමට පුවත්පතට හැකියාව ලැබීම ඊට හේතුවයි. ගුවන් විදුලියේදී එය සීමාසහිතය. පුවත්පතට එවැනි බාධා නොමැති අතර අවශ්‍ය තරම් විස්තර ඉදිරිපත් කිරීමටත්, පාඨකයන්ට ඒවා කියැවීමටත් ඉඩකඩ ලැබේ. 89% පමණ ප‍්‍රමාණයකට කියැවීමට හැකිවීම සහ ජාතික පුවත්පත් ජනතාව අතර ඉතා බහුල ලෙස පරිහරණය වීම හේතු කොටගෙන පුවත්පත් ඉතා ප‍්‍රබල මාධ්‍යයක් බවට පත්ව තිබේ.
ජනතාව අතර වැඩි වශයෙන් පරිහරණය කරන ජනමාධ්‍යය වන්නේ පුවත්පතයි. එය මිලදී ගැනීමට සියල්ලන්ටම හැකියාවක් නොවූවත් බොහෝදෙනා පුවත්පත කියැවීම පුරුද්දක් කරගෙන සිටිති. එපමණටම එය ජනතාවගේ හදවතට කාවැදී ඇත. පුවත්පත් මිලදී නොගන්නා පුද්ගලයන් කාර්යාලයේදී, පුස්තකාලයකදී හෝ වෙනත් අසල්වැසි නිවසකින් පුවත්පත කියැවීම සිදුකරයි. පුවත්පත ප‍්‍රබල ජනමාධ්‍යයක් බව ප‍්‍රකාශ කරන්නේ එබැවිනි.


සහකාර කථිකාචාර්ය අමිල නුවන් මධුසංඛ

ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය


Sunday, April 30, 2017





මැයි මාසය දුර තියාම දකිනකොට මතක් වෙන්නේ අප කාටත් මැයි පළමුවැනිදා යි ,ඒ වගේම ලෝක කම්කරු දිනය කියලත් පිරිසක් දන්නවා.
 රතු පාට ,කොළ පාට ,නිල් පාට ආදී පාට පාටට කොඩි දාගෙන බුරුතු පිටින් රට වටේ දියවු දියවු කිය කියා ,කම්කරුවන් යැයි කියාගන්නා පිරිසක් මැයි සමරන්නට පාරට බසියි ..වෙනදාට නැති කැක්කුමක් මූනෙන් විතරක් දෝරේ ගලාගෙන යන්න ඇරලා ,ගිරිය කඩාගෙන මයික්‍රපෝන ගිලගෙන ,එදාට විතරක් කෑ ගහනවා .වෙනදට මාර්ග නීති පවා සුනු විසුනු කරගෙන ,සීතල කරපු බේන්ස් එකෙ යන ,මිනිහෙක් මැරුනත් අවුව සැරයි නම් ,එලියට වත් නොඑන ,ජනතා පාලකයින් යැයි කියාගන්නා ,අපිම විසින් අපේම කතිරෙන් 
අපිටම  වල කපාගෙන උස්සලා තිබ්බ ඈයෝ ..  අන්න එදාට මහා අවුවේ ,දාඩිය පෙරාගෙන පරවල් දිගේ යන්න එනවා .හැබැයි තනියම නෙමේ 200ක් විතර ආරක්ෂක වළල්ලක් වටේට දාගෙන .
රටේ ප්‍රශ්නලූ ,..රට අරාජිකයිලූ ...
කිය කියා කුමක් හෝ ඒ ඒ  කාලෙට පවතින ආණ්ඩුවකට කෑ ගහනවා .අනේ ඒත් ඇත්තටම දහ දුක් විදින මොණරාගල පුංචිරාළලා ..,වන්නි හත්පත්තුවේ හීංබන්ඩලා ,කලු මැනිකලා ,දකුනේ ගාල්ලේ මාතර මහ මුහුදත් එක්ක හැප්පෙන ගිරිගෝරිස්ලා ,ඇග්නස් නෝනලා එදාට රූපවහිනිය ඉස්සරහට වෙලා මේ මහා ඔපෙරා ,නාටක  දිහා බලාගෙන එක කොනකින් හිනා වෙන ගමන් ,තවත් පැත්තකින් "අනේ මුන්ට හෙන ගහන්නෙ නෑනෙ මේ කොරන මුසාවට " කියල හිත යටින් දෙස් දෙවොල් තියන්නේ නැද්ද?

සැබෑවටම වැඩ කරන ජනතාව අද මැයි සමරනවාද ?
 අහෝ දුකකි ,මේ මහා නාඩගමට අහුවෙන අපේ gගම් වල ඉන්න ඈයෝ කලවම් කරපු සීල් අරක්කු බාගෙටයි සම්බා හාලෙන් ගහපු කහ බතටයි මාස ගනන් අයිස් යට කරනම් ගහපු කුකුල් මස් කෑල්ලටයි වහල් වෙලා ,නිකන් ගමට එන උන්ගේම බදු මුදලින් නඩත්තු වෙන ලංගම බසයේ ගොඩ වෙලා ,තමන්ට හෙන ගැහුවත් 
ලගට නොඑන දේශපාලුවෝ වෙනුවෙන් සාදු තිය තියා කොළඹට එන්නේ මැයි සමරන්නලු .....
අතට දෙන සීල් අරක්කු බාගෙ බීලා ,,බත් මුලේ තියෙන මස් කැබැල්ලෙන් කට ගැස්ම
සනසාගෙන ,මහා වැඩකරනා නයකයන්ගේ වන්නමට තාලෙට අත්පුඩි ගහලා ,හවස් වෙද්දී ආපහු නිවසට එනවා .අරුමෙක මහත නම් ,එදාට කුලියට මඩියට නොයෙන මේ අනුවන මිනිසුන් නිසා තම දරු පවුල දුක් විදින ජනතාවගේ දිනය දා සා ගින්නේය .රටේ පාලනය කල යුතු ,රට සංවර්ධනයට ගෙන යා යුතු ඈයෝ
අර වැඩ කරන ජනතාවගේ දවසේ  කරන්නේ...
එකිනෙකාට මඩ ගසාගෙන අවසානයේ තම තමන්ගේම රෙද්දේ සායම යවාගන්නා එක
නොවේද ? ?
එදාට අර පන අදින මිනිහට පේන්න වේදිකාව උඩ පොර කොටාගෙන ...ඒ
වේදිකාවෙම පිටි පස්සේ ඒ කුකුල්න්ම හොර ගල් සතුටෙන් අහුලන බව අනේ අපේ අප්පුහාමිලා දකින්නේ කවදාද????

1886 ඇමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේ ඉදිරිපිට කරන ලද වැඩ වර්ජනයේ දී කම්කරුවන්
තම අයිතිවාසිකම් දිනා ගත්හ .1926 සිට මෙරට කම්කරු නායක ඒ ,ඊ .ගුනසිංහ මහතාගේ නයකත්වයෙන් අරම්භ කල මෙරට මැයි රැලි වලින් මෙරට ඇත්තටම දුක්
විදින පීඩිතයා දිනා ගත්තේ මොනවාද ?????
මේවට උත්තර මැවෙන්නේ මිරිගුවක් වැනි අවකාශයක් නොවේද ?
අපි හිතමු ...
"සැබෑවටම මේ  මැයි ද සමරන්නේ ?"


අදහස ..
තිලක් වනසිංහ (ශිෂ්‍ය)
ජන සන්නිවේදන අධ්‍යනාංශය
කැළණිය විශ්ව විද්‍යාලය

Saturday, April 22, 2017

             ගුවන් විදුලි වර්ධනය  හා බැදුනු   ශ්‍රි  ලංකාවේ ගුවන් විදුලි කොමිෂන්




ශ්‍රී ලංකා ගුවන්විදුලි වර්ධනය පිලිබඳ විමසීමෙදී ,එක් නිර්නායකයක් ලෙසට ගුවන්විදුලි කොමිෂන් සභා හදුනා ගත හැකිය .එම කොමිෂන් මගින් කරන ලද නිර්දේශිත, කාලීන සමාජ පදනම නියෝජනය කරයි .එබැවින් ගුවන්විදුලි කොමිෂන් හා එහි නිර්දේශ ශ්‍රීලංකා ගුවන්විදුලියේ  ගමන් මග මනා ලෙස පහදා ගැනීමට උපකාරී වේ .


කොමිෂන්..... 
  1. කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම
  2. එන් .ඊ .වීරසූරිය කොමිෂම
  3. සරච්චන්ද්‍ර උපදේශක කමිටුව
  4. හුලුගල්ල කොමිෂම
  5. වී .සී.ජයසූරිය කොමිෂම                                                           

                                           කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම
  • 1940 ඔක්තෝබර් 28 වෙනිදා කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම පත් කරන ලදි .
  • ප්‍රධානියා වූයේ aඅමාත්‍යසර් ජෝන් කොතලාවල මහතායි .
  • සාමාජිකයන් 12 කි . එනම් ,                                                                                                                                                  
  • මිල් ඉරල් බ්ලැක් මහත්මිය
  • ඊ .ඒ .අබේසේකර මහතා
  • එච් .එම් එම්. ගසාලි මහතා
  • පී .ද .එස් කුලරත්න මහතා
  • නඩේසන් මහතා
  • ඊ .ප්‍රයිස් මහතා
  • ඩබ්ලියු.ජේ.ප්‍රයිස් මහතා
  • මාක්ස් ස්.රොක්වඩ් මහතා
  • දේවාර් සූර්‍යසේන මහතා
  • ඩබ්ලියු,ආර් .වොට්සන් මහතා
  • එච් .ද.එස් .ගුණවර්ධන මහතා (ලේකම්)
  •  එස් .පරරාජසිංහ මහතා          

                                                        1941 මැයි මාසයේ 16 වන දින කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කලහ .එහි ප්‍රධාන නිර්දේශ 07 කි  

  1. ගුවන් විදුලිය වඩාත් ප්‍රගතිශීලි ක්‍රියා පිලිවෙතක් අනුගමනය  කල යුතුය
  2. පවතින ට්‍රාන්ස්මීටර් ප්‍රමාණවත් නොවන බැවින් වෝට් 20 ට්‍රාන්ස්මීටර් සවි කල යුතුයි
  3. ගුවන්විදුලි මධ්‍යස්ථාන ස්තීර ගොඩනැගිලි වලට ගෙන ආ යුතුය
  4. වැඩසටහන් නිෂ්පාදනයන් සදහා අයෝජනය කරන මුදල් ප්‍රමානය වැඩි කල යුතුය
  5. වැඩසටහන් සැලසුම් කිරීමෙදී උපදෙස් දීමෙ අවශ්‍යතාව පැහැදිලිකරන කොමිසම බටහිර සිංහල,දෙමළ.සහා අධ්‍යාපන යන අංශ 04       සදහාම උපදේශක කමිටු අවශ්‍යතාව පැහැදිලි කලහ
  6. ප්‍රජාමූල ශ්‍රවන මධ්‍යස්ථාන ආරම්භ කිරීම හා පාසල් ගුවන්විදුලි කමිටු අවශ්‍යතාව
  7. කාලයට ඔබින  අන්දමේ  තැටිගත කිරීම්  අවශ්‍යතාව
ගුවන්විදුලි වැඩසටහන් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධyානය යොමු කල මෙම කොමිසම තාක්ෂණික සහා වැඩසටහන් යන අංශ 02ක කෙරෙහිම අවධානය යොමු කරන්නකි
  • 1942 පෙබරවාරි 02 දිනරාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් මෙම යෝජනාව පිලිගෙන තිබේ .
  •  මුලින්ම කර ඇත්තේ පාසල් ගුවන්විදුලි කමිටු පිහිටු වීමයි
  • සෙසු යෝජනා 02 වන ලෝක යුද්ධය නිසා ක්‍රියාත්මක කිරිම කල් ගත විය
  • උපදේශක කමිටු පත් කරන්නේ 1946 දීය
  • සිංහල වැඩසටහන්   කමිටුව  ඊ .ඒ .අබේසේකර මහතගෙ sසභාපතීත් වයෙන්  විය
  •  දෙමළ කමිටුව කනගරත්නම් මහතා යටතේ විය .
  • ඉංග්‍රීසි වැඩසටහන් කමිටුව දොස්තර සෙටජි මහතා යටතේ විය 
                 මෙම කමිටු ඔස්සේ ගුවන්විදුලි වැඩසටහන් ඉතා සාර්ථකව විය .




     ශ්‍රීලංකා ගුවන්විදුලියේ ප්‍රධානියා  වූයේ ජෝන් ලැප්සන් මහතායි .මේ කාලයේදී කොමිසමේ පරිදි ගුවන්විදුලියේ වැඩසටහන් වර්ධනය සදහා කමිටු10 ක් පත් කලහ .

01.සිංහල උපදේශක කමිටුව
02.  දෙමළ" "
03.බටහිර " '
04.පාසැල් "  "
05.ග්‍රාමීය කටයුතු "  "
06.බෞද්ධ "  "
07.හින්දු  '  "
08.ක්‍රිස්තියානි "  "
09.මුස්ලීම්  "   "
10.පොදු උපදේශක කමිටු යනාදියයි .

බොරැල්ල කොටා පාරේ තිබූ ගුවන්විදුලි ආයතනය වර්තමානයේ පවතින ටොරින්ටන් භූමියට ගෙන ආවේ මේ කාලයේදීයමය .(1951) ඒ වගේම මේ කාලයෙදී  ගුවන්විදුලි පාසල් සේවය ආරම්භ විය .
  • මෙම සෑම කමිටුවක්ම  මසකට වරක් එක් වූ අතර ,කමිටු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජෙනරාල් අතර 02මසකට වරක් හමුව සිදු විය .
එන් .ඊ .වීරසූරිය කොමිසම.

1953 අප්‍රේල් මාසයේ 04 වන දින මෙම කොමිසම පත් කරන ලදි .ඒ වීරසූරිය මහතාගේ සභාපතීත්වය යටතේය .
සෙසු සාමජිකයන් ලෙස .

  • කේ .එස් .අරුලානන්ද
  • එස් .පරරාජසිංහ
  • මාර්ටින් වික්‍රමසිංහ
  • ඩී.බී.ඇහැලේපොළ
  • දේවර් සූරියසේන
යනාදීන් විය .
මෙහි වාර්තාව ඉදිරිපත් වූයේ වසර 02 කට පසුවය .

කොමිසමේ නිර්දේශ:-
  • ජාතික සේවා වැඩසටහන් වැඩි කිරීම
  • ශිල්පීන් තෝරා ගැනීමේදී පක්ෂපාති නොවීම
  • වැඩසටහන් මනා සැලැස්මෙන් යුතු වීම හා පෙරහුරුවකින් පසුව ප්‍රචාරයක් කිරීම
  • ග්‍රාමීය සංගීතයට මුල් තැනක් දීම හා එය නංවාලීම
  • ග්‍රාමීය ජනයාගෙ අවධානය දිනා ගැනීමට කටයුතු කිරීම
  • ප්‍රාදේශිය පුවත් වලට වැඩි ඉඩක් දීම
  • ගුවන්විදුලිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතර මනා සහසම්බන්ධයpක් පවත්වාගැනීම
යනාදිය මෙහි නිර්දේශ විය .

  • මෙම කාලයේදීම වෙළඳ සේවය හා සමග  තරගකාරිව  ස්වදේශීය සේවය ආරම්භ විය .
  • නිර්දේශ පරිදි ගුවන්විදුලි සංගීත අංශයක් ආරම්භ විය .
  • 1955 කාලය වන විට ගුවන්විදුලි බලපත්‍රලාභී  සංඛ්‍යාව 122860 ක් පමන වී තිබින .



                                                           හුළුගල්ල කොමිෂම

  • 1965 ජූලි 31 වන දින එවකට සිටි අග්‍රාණ්ඩුකාරවරයා විසින් මෙම කොමිසම පත් කරන ලදි .
  • පලමු සභාපතිවරයා වූයේ  එච් .ඒ .ඩී .හුළුගල්ල මහතායි .
  • සෙසු සාමාජිකයන් වූයේ ,
  • හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි හිමි
  • ඩී.බී .ඇහැලේපොළ
  • එස් .රාජනායගම්
                                                         යන අයයි .

කමිටුවමාස 08කින් පසුව නිර්දේශ ඉදිරිපත් කලහ .එනම් ..,,
  • දෙපාර්තමේන්තුවක් ලෙසට පවතින ය සංස්ථාවක් කිරිම
  • ගුවන් විදුලිය සදහා ප්‍රතිපත්ති හා පරිපාලනය සදහා කමිටුවක් පත් කිරීම
  • නවකයින් සේවයට බදවා ගැනීමේදී මනා පුහුනුවක් ලබා දීම
  • මැදිරි පහසුකම් වර්ධනය කිරීම
  • ශ්‍රවන පර්යේෂණ අංශයක් ඇරඹීම
  • ශ්‍රාවකයන් අතර ගුවන් විදුලිය තව තවත් ප්‍රචලිත කිරීමට ගුවන්විදුලි යන්ත්‍ර වල මිල අඩු කර ලබා දීම
  • ශ්‍රීලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කිරීම හා එහි මුල් ක්‍රියාමාර්ග හදුන්වා දීම
නිර්දේශයට අනූව 1966 මැයි 21 වන දින ගුවන්විදුලි සංස්ථාවක් කිරීමට අනුමැතිය ලබා දීම සිදු විය .ඒ අනූව 1966 නොවැම්බර් 15 වන දින අංක 37 පනත යටතේ ගුවන්විදුලිය  "ගුවන් විදුලි සංස්ථාවක් " කරන ලදි .




                                                   වී .සී.ජයසූරිය  කොමිෂම

  • 1970 ඔක්තෝබර් 11වන දින පත් කරන ලද මෙම කොමිසමේ පලමු සභාපතිවරයා වූයේ වී .සී .ජයසූරිය මහතායි .
  • සෙස්සන් ලෙස ,
  • ඉවිලියන් ප්‍රනාන්දු
  • එස් .එම් .ඩී .සිල්වා  විය .
නිර්දේශ:-
  •  වෙළඳ සේවය හා ජාතික සේවය එකම ප්‍රධානියෙක් යටතට ගැනීම
  • ප්‍රවෘත්ති අංශය ප්‍රතිසංවිධාන කිරීම
  • සිංහල බෙරවාදන කණ්ඩායමක් සංගීත අංශයට ගැනීම
  • පාසැල් අධ්‍යාපන වැඩසටහන් ප්‍රතිසංවිධාන කිරීම 
  • ගුවන් කාලය භාවිතා කිරීමෙදී ලාභය සාධකයක් නොකරගැනීම
  • වෙළද සේවා සංගීත හා ගීත භාවිතය විවේචනයට භාජනය කරයි 

මෙම කාලය වන විට තිබූ ආර්ථික ප්‍රතිපත්ති මත මෙම කොමිසම තීරන ගෙන තිබේ , 
  • එවකට තිබූ සංවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ ලාභ උපරිම කිරිමේ අවශ්‍යතාවක්      ගුවන්විදුලියට නොවීය .

                                         සරත්චන්ද්‍ර උපදේශක කමිටුව

  • ගුවන්විදුලි කොමිසමක් නොවූවද 1960 සංගීත වැඩසටහන් වර්ධනය කල යුතු ආකාරය සලකා බැsලීම සඳහා පත් කර තිබේ .
  • මෙම උපදේශක කමිටුවේ සැලසුම් කරුවන් ලෙස කටයුතු කරන ලද්දේ  ආචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර හා ලයනල් එදිරිසිංහ ,එම් .පට්ටිආරච්චී යන අයයි .
ගුවන්විදුලි විදුලි සංගීතය බහුතර දෙනාගෙ ග්‍රහනයටh අසුවන්නක් බැවින් උසස් සංගීත ප්‍රචාkරය කල යුතු බව කමිටු  nනිර්දේශය විය .



    අමතර දැනමට:-                                                             http://www.slbceng.org/pdf/Radio%20Ceylon-Sri%20Lanka%20Broadcasting%20Corporation.pdf
ගුවන්විදුලි මාධ්‍ය සම්භවය හා මාධ්‍ය විකාශනය -කමල් වලේබොඩ
කියවීම මිනිසා සම්පූර්න කරයි "


සැකසුම ;- තිලක් වනසිංහ (ශිෂ්‍ය)
ජන සන්නිවේදන විශේෂවේදී උපාධි පාඨමාලාව ..
ජන සන්නිවේදන අධ්‍යනාංශය
කැළණිය වි.විශ්වවිද්‍යාලය
අමතන්න :- 07101756167





Wednesday, February 1, 2017




පිරිපුන් සන්නිවේදකයකු වීම සඳහා සන්නිවේදනයේ මූලිකාංග පිලිබඳ අවබෝධය අවශ්‍යමද?

"මිනිසා නිසැකයෙන්ම සන්නිවේදන සත්වයකුය " යැයි පැවසීම යුක්ති සහගත කරුණකි. ඒ මන්ද යත් එදා මෙදා තුර මානව පරිණාමනයේ ප්‍රධානම අංගයක් ලෙස සන්නිවේදනය පැවත ආ බැවිනි .සන්නිවේදනය ලෝකයේ කවදා කොතැනක ආරම්භ වූවාද යන්න කිසිවෙකුට මේ තාක් නිශ්චිත කරමින් ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබීමෙන්ම පැහැදිලි වෙන්නේ මේ මිහිපිට මානවයා බිහිවූයේ කවදාද ,එදින ඒ මොහොතේම සන්නිවේදනයද ආරම්භ වී ඇති නිසාවෙනි.
මෙලෙස මිනිස් පරිණාමයත් සමඟ වර්ධනය වූ සන්නිවේදනය අද වන විට විෂයක් වී තිබේ .ඒ මන්දයත් තව දුරටත් මිනිසාට තම ජීවිතය තුළ සන්නිවේදනය ඉගෙනීමට තරම් පුළුල් කරුනු කාරනා හා විෂය පදාර්ථයක් මෙහිවන නිසාවෙනි. මේ නිසාම මානව සමාජයේ අන්තර් සබඳතාව ගොඩනගන හූයක් බවට සන්නිවේදනය පත් වී තිබේ.

සන්නිවේදනය යන්න කුමක්දැයි ? යනුවෙන් නගන ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලෝකයේ එදා මෙදා තුර පහළවූ විවිධ විද්වතුන් විවිධ අදහස් හා අර්ථකථන ,විවිධ විෂය කේෂ්ත්‍රයන් ඔස්සේ විග්‍රහකර තිබේ .එහිදී ....,

  • දේශපාලන විද්වතෙකු වූ හැරල්ඩ් .ඩී .ලැස්වෙල්
  • සන්ධානයේ පියා ලෙසින් හදුනාගන්නා මහාචාර්ය විල්බර් ශාම්
  • විද්‍යාඥයන් දෙදෙනෙකු වු ක්ලෝඩ් ෂැනොන් සහා වොරන් වීවර් දෙපල
  • සන්නිවේදනය පිළිබඳව මහාචාර්ය වරයෙකු වූ ජෝර්ජ් ගබ්නර්
  • මහාචාර්ය මාෂල් මැක්ලූහන්
  • විවිධ විෂයන් පිළිබඳව විද්වතෙකු වූ මහා දාර්ශනික ඇරිස්ටෝටල්
  • එඩ්වඩ් සැපීර්
ජෝර්ජ් ගබ්නර්
ජෝර්ජ් ගබ්නර්
යනාදී දේශපාලන /sසමාජ විද්‍යා / ගණිත / දර්ශනය ආදී විවිධ විෂය කේෂ්ත්‍රයන් වල විද්වතුන් සන්නිවේදනය wවිග්‍රහ tකර තිබේ .

"Who say What in Which Channel to Whom with What effect ''

( Herold.D.Leshwell)


උක්ත නිර්වචනයෙන් හැරල්ඩ් .ඩී.ලැස්වෙල් සන්නිවේදනය විග්‍රහ කරන්නේ ",කවුරු ?(WHO), කුමක් ? (WHAT),කුමකින් ?(IN WHICH CHANNEL) ,කාට ද ? (TO WHOM), කුමන බලපෑමක් ? (WHAT EFFECT) අරමුනු කරගෙන යමක් සිදු කරයිද ..එය සන්නිවේදනය වන බවයි" .

මෙහිදී ලැස්වෙල් විසින් වක්‍රව සන්නිවේදනයේ මුලිකාංග පහක්ම විග්‍රහ කරයි .එසේම මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසනුයේ "යම් සංදේශයක් මුල් කරගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මනෝභාවයක් නැතිනම් චිත්ත තත්වයක් ඇති වීම සිදු කරගෙන වන ක්‍රියාවලිය " සන්නිවේදනය වන බවයි .එඩ්වඩ් සැපීර් විග්‍රහ කරන්නේ ,සමාජයේ බිහිවීම තුල සන්නිවේදනය ආරම්භ වූ බවත් ,සමාජය තුල වන ක්‍රියාකරකම් හා සංස්කෘතික රටා මගින් සන්නිවේදනය හා සම්බන්ද කමක්ද නිර්මානය වන බවටයි .එමෙන්ම ක්ලෝඩ් ෂැනොන් සහා වොරන් වීවර් සන්නිවේදනය නිර්වචනය කරන්නේ ,

,"යම් ස්ථානයකදී තෝරාගත් පණිවිඩයක් තවත් ස්ථානයeක එ අයුරින්ම ප්‍රතිනිර්මාණය කිරීම " සන්නිවේදනය බවයි .( සන්නිවේදන නිර්වචන පිළිබඳව පුළුල් විග්‍රයක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න)

හැරල්ඩ් .ඩී. ලැස්වෙල්
මෙලෙසින් වන විවිධ සන්නිවේදන විග්‍රයන් තුලින් පැහැදිලිa වන පොදු කරුන වන්නේ සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කරගැනීමෙ ක්‍රියාවලියක් බවත් ,එම ක්‍රියාවලිය පැවතීමෙහිලා විවිධ වූ මූලිකාංග ද ඒ වටා ඇති බවයි .මෙහිදී මූලිකම කරුන වන්නේ යහපත් සන්නිවේදකයකු ලෙස සන්නිවේදනයේ යෙදීමට නම් මෙම සන්නිවේදන මූලිකාංග අවබෝධය වඩාත් වැදගත් වන බවයි .

උක්ත කී පරිදී සන්නිවේදන මුලිකාංග යන්නෙහි අන්තර්ගතය පිළිබදව විමසීමෙදී එහි මූලිකම අවස්ථාව හෙවත් ප්‍රාථමික මූලිකාංග අවස්ථාවන් ලෙසින් මුලිකාංග 03ක් හදුනාගැනීමට හැකි වේ .එනම් ,
  • සන්නිවේදකයා
  • සංදේශය
  • ග්‍රාහකයා


යන ප්‍රාථමික මූලිකාංග අවස්ථාවන්ය. ක්ලෝඩ් ෂැනොන් සහා වොරන් වීවර් යන විද්වතුන් දෙපළ සහා හැරල්ඩ් .ඩී .ලැස්වෙල් යන දාර්ශනිකයගේ නිර්වචනයන් තුළ මෙකී ප්‍රාථමික මූලිකාංග විස්තර කර තිබේ .නමුත් විශේෂයක් ලෙසින් අපට ලැස්වෙල්ගේ නිර්වචනය තුළ ප්‍රාථමික මූලිකාංග අවස්ථාවන්ට එහා යමින් තවත් මුලිකාංග 02 ක් ද විග්‍රහ කර තිබේ .

මේ අනූව අවස්ථාවෙන් අවස්ථාව සන්නිවේදනය පැහැදිලි කිරීමට අදාළව මූලිකාංග කීපයක්ම ඉදිරිපත්ව තිබේ . පිරිපුන් සාර්ථක සන්නිවේදකයකු වීමට නම් මෙකී මූලිකාංග පිළිබද අවබෝදය මනා ලෙස තිබීම ඉතාම වැදගත් වේ .මේ අනුව මූලිකම සන්නිවේදන මූලිකාංග මෙසේ දැක්විය හැක .එනම් ,
  1. සන්නිවේදන මූලය - Information source
  2. සන්නිවේදකයා -Sender
  3. සංදේශය -Message
  4. මාධ්‍ය-Channel
  5. ග්‍රාහකයා -Receiver
  6. බාධා -Noise
  7. බලපෑම් -Effects
  8. ප්‍රතිපෝෂණය -Feedback                                                                                                                                                                      ආදී මූලිකාංග වේ. මේ හැරුනු කොටගෙන ආකේතිකරණය සහා විකේතිකරණය යනුවෙන් සෙසු මුලිකාංග 02ක් පිළිබදවද සාකච්ඡාවට බදුන් වේ . යහපත් ලෙසින් මෙන්ම මනා පරිපූර්ණත්වයකින් යුතුව සන්නිවේදනයේ යෙදීමට නම් උක්ත දැක්වූ සන්නිවේදන මූලිකංග පිළිබද අවබෝධය මනාව තිබිය යුතු වේ .මන්ද යත් සාරගර්භ සන්නිවේදනයකට මග පෑදීමට එම මූලිකාංග හී දැනුම ඉවහල් වන නිසාවෙනි .

උදාහරණයක් ලෙස අප කාලීන වැඩසටහන් මෙහෙයවන්නෙක් ගෙන බැලීමෙදී ඔහු හෝ ඇය තම ග්‍රාහක පිරිසට එනම් ,ගුවන් විදුලියේ නම් ශ්‍රාවකයන්ටත් ,රූපවහිනියේදී ප්‍රේක්ෂකයාටත් උචිත පරිදි ඉතා ආකර්ශනීය ලෙසින් සන්නිවේදනය කිරීමට නම් ඔහු හෝ ඇය සන්නිවේදනයේ උක්ත කී මුලිකාංග පිළිබදව වන අවබෝධය ඉතාම වැදගත් වේ .ඒ මන්ද යත් ,කාලින වැඩසටහනකදී බෙහෙවින් කතාබහ කරන්නේ සමාජයක එ ඒ කාලවලදී පවතින ගැටලුවක් හෝ සමාජය තුළ කතා බහ වෙන සංසිද්ධියක් වන නිසාවෙනි .මෙහිදී එම වැඩසටහන් මෙහෙය වන්නාට එනම් සන්නිවේදකයාට තමන්ට අවශ්‍ය කරන මාතෘකාවට අදාළ කරන තොරතුරු ලබා ගැනීමට සිදු වේ .එහිදී ඔහු හෝ ඇය තොරතුරු ලබා ගැනීමට තොරතුරු මූලයන් නැතහොත් Information source අවශ්‍ය වේ .තොරතුරු මූලයක් යනු ;- " කිසියම් සන්නිවේදකයකු හට තම සංදේශණ කාර්‍යයේදී අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්නාවූ හෝ ලබා දෙන්නාවු ප්‍රබවයයි ."

මෙහිදී උක්ත උදාහරණය තුළ හිද බැලීමේදී කාලීන මාතෘකාවට අදාළ තොරතුරු මූලය විටෙක යම් ,විද්වත් චරිතයික් විය හැකිය .එමෙන්ම කාලිනව සිදු වූ පරිසර විපර්යාසයක් විය හැකිය .එමෙන්ම ,

  • අපරාධ සිදුවීමක්
  • යම් කෘතියක් / ප්‍රකාශනයක්
  • සංස්කෘතියේ අංගයක්
   මාෂල් මැක්ලූහන්

යනාදී කුමන හෝ අවස්ථාවක් සිදුවීමක් තොරතුරු සම්පාදනය කරන මූලාශ්‍රයක් විය හැකිය .මෙහිදී සන්නිවේදකයගේ තිබෙන රුචි අරුචිය මෙම තොරතුරු මූලාශ්‍ර තෝරා ගැනීමේදී බලපායි . එමෙන්ම එමගින් සන්නිවේදකයාගේ සන්නිවේදන කාර්‍යයෙහි සාර්ථකබවද තීරණය ඒ .ඔහුගේ ගවේෂණශීලී බුද්ධියද එමගින් ග්‍රාහකයාට මනා ලෙස අවබෝධ වීමද සිදු වේ.

සන්නිවේදකයා


ඉහත දැක්වූ නිදසුනම ඔස්සේ මෙම මූලිකාංගයද විමසාබැලීමේදී ,මෙම වැඩසටහනට අවශ්‍ය තොරතුරු ලබා කෙසේ කොහොම ලැබුනද ඒවා තම ග්‍රාහකයාට ලබා දීම සිදු කරන්නේ සන්නිවේදකයායි .

සන්නිවේදකයා යනු ," මූලාශ්‍රය මත පදනම්ව ග්‍රාහකයා වෙත සංන්‍යා සංකේත ආදිය භාවිතා කරමින් යම් පණිවිඩයක් රැගෙන යන්නායි " පිරිපුන් සන්නිවේදකයකු ලෙසින් සන්නිවේදනයේ යෙදීමට නම් තම සන්නිවේදන භූමිකාව පිළිබද අවබෝදය ඉතාම වැදගත් වේ .

උක්ත උදාහරණයටම අනූව හදුනා ගැනීමේදී .මෙම කාලීන වැඩසටහන් මෙහෙයවන්නා හෙවත් සන්නිවේදකයා මනා ලෙසින් තම භූමිකාව පිළිබඳව දැන සිටිය යුතු වේ .එනම් සන්නිවේදකයකු තම ග්‍රාහක කේෂ්ත්‍රය පිළිබඳව මනා වූ අවබෝධයකින් සිටිය යුතු වේ . එමෙන්ම එහිදී ,
  • තමන් ඉදිරිපත්කරන්නේ කුමන සංදේශයක්ද
  • තම ග්‍රාහක කේෂ්ත්‍රය කුමක්ද යන වගත්
  • සියල්ලටම පොදු වූ භාෂාවක් යොදා ගැනීම
  • ශ්‍රව්‍ය ගෝචර සන්නිවේදනයකින් යුතු වී

යනාදී ලක්ෂණයන්ගෙන් යුතු අයෙක් විය යුතුය .මන්ද උක්ත උදාහරණය අනුව බොහෝ විට කාලින වැඩසටහන් නරඹන්නේ ,අසන්නේ විද්වත් බුද්ධිමත් pපිරිසක් වේ .පාසල් ළමුන් ,ගුරුවරුන් ,විශ්ව විද්‍යාල සිසුන් ,ආචර්‍ය මහාචාර්ය වරුන් ආදින් වේ .දොරමඩලාව ,පහන්දොර .අමාදහර , ආදිය නිදසුන් වේ .

ග්‍රාහකයා යන භූමිකාවද ඉහත දැක්වූ කරුනුම දැන සිටිය යුතු වේ,ග්‍රාහකයා යනු සන්නිවේදකයාගෙ සංදේශය ග්‍රහණය කරගන්නා පාර්ශවයයි .ග්‍රාaහකයා විවිධ වේ .එය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස් වේ .ගුවන්විදුලියේදී ග්‍රාහකයා ශ්‍රාවකයා වේ .රූපවාහිනියේදී ප්‍රේක්ෂකයා වේ .පුවත්පත තුළදී පාඨකයා වේ .මෙකීස් සෑම ග්‍රාහක භූමිකාවක් පිළිබඳවම මනා වූ අවබෝධයකින් යුතුව සන්නිවේදකයෙකු සිටිය යුතුම වේ .

එමෙන්ම යහපත් පිරිපුන් සන්නිවේදකයකු ලෙස තම සංදේශය ,ග්‍රාහකයා හා මාධ්‍ය යන කාරනා පිළිබඳවද දැන සිටිය යුතුම වේ .

සංදේශය තොරතුරු මූලාශ්‍රය මත පදනම්ව සන්නිවේදකයා විසින් ග්‍රාහකයට ලබා දෙන්නාවූ දේ සංදේශය නම් වේ .මෙහිදී සංදේශයන් තෝරා ගැනීමේදී sසන්නිවේදකයින් විසින් ඉතාම කල්පනාකාරීව තම කාර්‍ය කල යුතු වේ . එමෙන්ම සංදේශයේ අන්තර්ගතය ,එහි අන්තර්ගතය කොතරම් දුරට ග්‍රාහක ගෝචරද යන වගද  පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ .මෙහිදී තවත් දැනගත යුතු තවත් කරුනක් වන්නේ සංදේශයaට  අනූව මාධ්‍ය තෝරා ගැනීමයි .
මාධ්‍ය 
 මාධ්‍ය යනු සංදේශය ග්‍රාහකයා වෙතට ගෙන යාමෙහි ලා යොදා ගන්නාවූ  වාහකයයි .
 මෙහිදී සන්නිවේදකයෙකු තම සංදේශයට ගැලපෙන මාධ්‍ය තෝරා ගැනීම කල යුතු වේ .එනම් තම සංදේශන කාර්‍යයට ගැලපෙන්නේ ගුවන්විදුලියද ,රූපවාහිනියද .නැත්නම් පුවත් පතද යන වග ඔහු විසින් ඉතා හොදින් තේරුම් ගතයුතු වේ. එහිදී එ ඒ මාධ්‍යයන් හී වන ලක්ෂණයන් පිළිබඳවද අවබෝධයකින් සිටිය යුතු වේ .යතෝක්ත උදාහරණයට අනූව ,කාලීන වැඩසටහන රූපවාහිනියේ හෝ ගුවන්විදුලියේ විකාශනය වන්නේ යැයි සිතමු .රූපවාහිනියේදී නම් එය ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන ගුනයන්ගෙන් යුතු නිසා කතා විලාසයන් අභිනයන් ,ඇදුම් පැළැඳුම් ආදී සියල්ලම පිළිබඳව මනා ලෙසින් කල්පනාකාරී විය යුතු වේ .මන්ද රූපවාහිනියේ බලපෑම් ඉතා වේගයෙන් gග්‍රාහකයා වෙතට යන නිසාවෙනි .
                                                                       ගුවන්විදුලියේදී නම් එම මාධ්‍ය ඇසී නෑසී යන ගුනයෙන් හෙබි නිසා කෙටි වචන ,ශ්‍රව්‍ය ගෝචර හඬක් ,යනාදිය පිළිබඳව sසැලකිලිමත් විය යුතු වේ .එමෙන්ම පොදු භාෂාවකින් යුතු පිටපතක්ද ඉතාම වැදගත් වේ . මෙලෙස මාධ්‍ය භවිතා කිරීමෙදී සන්නිවේදකයෙකු ඒ පිළිබඳව ඉතා හොඳ දැනුමකින් සිටිය යුතු වේ .
             eඑමෙන්මපිරිපුන් සන්නිවේදකයෙකු වීමට නම් සන්නිවේදනයේ වන බාධා ,බලපෑම් සහා ප්‍රතිපෝෂණය  පිළිබඳව දැන සිටිය යුතු වේ .
 බාධා 
 "සන්නිවේදකයාගෙ සිට ග්‍රාහකය වෙතට සංදේශය ගලා යාමේදී වන  ගැටලු කාරී තත්වයන් " බාධක ලෙස හදුනා ගැනේ .
මෙහිදී බාධක නිර්මාණය වන sස්වරූපය අනූව හා ඒවයේ ස්වභාවය අනූව වර්ග 03 ක් වේ . එනම් ,යාන්ත්‍රික වශයෙන් වන බාධක ,පාරිසරික බලපෑම් මත වන බලපෑම් සහා යොදා ගන්නා භාෂාව තුලදී වන අර්ථ බාධකයි .බුද්ධිමත් දක්ෂ සන්නිවේදකයකු විසින් එම බාධක මගහරවා ගෙන තම සන්නිවේදන කාර්‍ය කිරීමට වග බලා ගත යුතුය .
                                                    
                                                                                                  පිරිපුන් සන්නිවේදකයෙකුට ඊළඟට දැන සිටිය යුතුම මූලිකාංගයක් ලෙසට " ප්‍රතිපෝෂණය " හදුනා ගත හැක .ප්‍රතිපෝෂණය යනු "සන්නිවේදකයාගෙ සංදේශයට ග්‍රාහකයා විසින් ලබා දෙනු ලබන ප්‍රතිචාරයයි .
                                                                         සන්නිවේදන ක්‍රියාවලියේදී  මෙම ප්‍රතිචාර නැතහොත් ප්‍රතිපෝෂණය ඉතාම වැදගත් වේ .එය බාධක අවම කරගැනීමටත් ,සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථකව භූමිකා හුවමාරු  කරගනිමින් පවත්වාගෙන යාමටත් ,සංදේශයන්හී අඩු පාඩු අවම කරගැනීමටත් බෙහෙවින් උපකාරී වේ .පිරිපුන් සන්නිවේදකයෙකු ලෙසින් මෙම ප්‍රතිපෝෂණ කාර්‍ය ගැන දැන සිටීමෙන් ඉතා උපක්‍රමශීලිව තමාට අවශ්‍ය ප්‍රතිචාර ප්‍රතිපෝෂණයන් ලබා ගැනීමට හැකි වනු ඇත .
                                                                               
                                                                                           මේ  සියල්ලම අවසානයේ ග්‍රාහක පාර්ශවයට බලපෑමක්  එකතු කිරීමද සන්නිවේදනයේ ප්‍රධානතම මූලිකාංගයක් වේ .ජෝර්ජ් ගබ්නර් විග්‍රහ කරන  ආකාරයට  බලපෑම , මිනිස් මනසට කා වදින්නේ වෙඩි උණ්ඩයක් ශරීර ගත වන වේගයටත් වඩා වැඩි  වේගයකින් බවයි .එයින් ඔහු පවසා සිටින්නේ බලපෑම එතරම් බලවත් එකක් බවයි .සන්නිවේදකයා යහපත් සංදේශනයක්  ගෙන යයිද එයින් යහපත්  බලපෑමක්  ග්‍රාහක  ගත  වේ .සංදේශනය අයහපත් නම් බලපෑමද  අයහපත් වේ .   
                                               සන්නිවේදන  මූලිකාංග අතර නිතර කතා බහට ලක් නොවන  මූලිකාංග 02 ක් වන ආකේතකරණය සහා විකේතකරණය යන්න මෙසේය .ආකේතකරණය යනු සන්නිවේදwකයාවිසින් තම සංදේශ්‍ය සංහ්න්‍යා සංකේත පද්ධතියක් ඔස්සේ ග්‍රාහක ගත කිරීමයි .විකේතකරණය යනු  යම්  කිසි සංහ්‍යා සංකේත ඔස්සේ එවන සංදේශය එම සංහ්න්‍යා සංකේත ඇසුරින්ම ග්‍රහනය කර ගැනීමයි .

                                     

                                                                             මෙලෙසින් වන සන්නිවේදනයේ මූලිකාංග පිළිබඳව වන මනා වූ අවබෝධය තුලින් සාර්ථක පිරිපුන් සන්නිවේදකයකු  බිහි වීම  සිදු වේ . එනයින් පැහැaදිලි වන්නේ පිරිපුන් සන්නිවේදකයෙකු වීමට නම් සන්නිවේදන  මූලිකාංග පිළිබඳව වන අවබෝධය  ඉතාම වැදගත් වන  බවයි  .

 සැකසුම-තිලක් වනසිංහ
Edit by -THILAK WANASINGHE